චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජිකයකු ද වන චීන විදේශ අමාත්‍ය වන්ග් යී මහතා සහ ප්‍රංශ විදේශ අමාත්‍ය ජීන්-නොඑල් බැරට් මහතා අතර ඊයේ (03) බෙයිජිංහිදී හමුවක් සිදුවිය.
මේ දිනවල සිය සිව්වන චීන නිල සංචාරයට එක්ව සිටින ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් මහතාගේ එම සංචාරය පිළිබඳ සඳහන් කරමින් වන්ග් යී මහතා මෙහිදී පැවසුවේ, දෙරටේ නායකයින් අතර සිදුවන සෑම හමුවක්ම චීන-ප්‍රංශ සබඳතාවන් හි ප්‍රධාන සිදුවීමක් පමණක් නොව ජත්‍යන්තර ප්‍රජාවේ දැඩි අවධානයට ලක්වන අවස්ථාවක් ද බවය.
එමෙන්ම වර්තමානයේ පවතින සංකීර්ණ ගෝලීය අභියෝග හමුවේ, චීනයත් ප්රංශයත් අතර සන්නිවේදනය සහ සහයෝගීතාව වැඩි දියුණු කිරීම මෙන්ම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන රටවල් සහ ස්ථිර සාමාජිකයන් ලෙස සිය පොදු වගකීමට උරදීම අවශ්‍ය බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
තවද, දෙපාර්ශ්වයේම ඒකාබද්ධ උත්සාහයන් තුළින් උපායමාර්ගික අන්‍යෝන්‍ය විශ්වාසය තවදුරටත් වැඩිදියුණු කිරීම, උපායමාර්ගික සහයෝගීතාව ගැඹුරු කිරීම මෙන්ම චීන-ප්‍රංශ විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වයේ සංවර්ධනය සඳහා ද මෙම සංචාරය නව ජවයක් ලබා දෙනු ඇතැයි චීන විදේශ අමාත්‍යවරයා සිය විශ්වාසය පළ කළේය.
ජපානයේ වත්මන් නායකයා විසින් තායිවානය සම්බන්ධයෙන් පසුගියදා කරන ලද වැරදි ප්‍රකාශයන් හි ස්වභාවය සහ බරපතල අනතුරුදායක තත්ත්වයන් සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය පැහැදිළි කිරීමටත් වැන්ග් යී මහතා මෙහිදී පියවර ගත්තේය.
දෙවන ලෝක යුද්ධයේ ජයග්‍රාහී ජාතීන් ලෙස චීනයත් ප්රංශයත් එක්ව ජීවිත පරිත්‍යාගයෙන් ලබාගත් එම ජයග්‍රහණයේ ප්‍රතිඵල ආරක්ෂා කළ යුතු බවත්, තායිවාන ප්රශ්නය ඈඳා ගනිමින් කරදර ඇති කර ඉතිහාසයේ සිදු වූ වැරදි නැවත ඇති කිරීමට ජපානය ගන්නා ඕනෑම උත්සාහයකට දැඩි ලෙස විරුද්ධ විය යුතු බවත් ඔහු එහිදී අවධාරණය කළේය. එබැවින් ප්‍රංශය සිය නිත්‍යානුකූල ස්ථාවරය තේරුම් ගනිමින් චීනයට සහාය දෙනු ඇතැයි බලාපොරොත්තු වන බව වැන්ග් යී මහතා ප්‍රකාශ කර ඇත.
මෙහිදී අදහස් දක්වමින් ප්‍රංශ විදේශ අමාත්‍ය ජීන්-නොඑල් බැරට් මහතා සඳහන් කළේ, ජනපති මැක්රොන් මහතා චීනය සමඟ සබඳතා වෙත විශාල වැදගත්කමක් දක්වන බවය.
එමෙන්ම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකයන් ලෙස, ප්‍රංශයට සහ චීනයට එක්ව ලෝක සාමය ඵලදායී ලෙසින් ආරක්ෂා කිරීමේ වගකීමක් ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
තවද, එක් චීනයක් ප්‍රතිපත්තියට තදින් අනුගත වන ප්‍රංශය, ජනාධිපති මැක්රොන් මහතාගේ සංචාරය හරහා දෙරටේ ජනතාව අතර මිත්‍රත්වය හා සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු පැවසීය. එමෙන්ම ප්‍රංශය යුරෝපා සංගමයේ ස්වාධීනත්වය ප්‍රවර්ධනය සඳහා කැපවී සිටින බවත් යුරෝපා සංගමය සහ චීනය අතර සබඳතා වර්ධනය ක්‍රියාකාරීව ඉදිරියට ගෙන යාමට කැමැත්තෙන් සිටින බවත් ප්‍රංශ විදේශ අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.