මැදපෙරදිග රටවල් සමග සබඳතා තර කිරීමට චීන‍ය සූදානම්

මැදපෙරදිග රටවල් සමග සහයෝගිතා වර්ධනයට චීනය අපේක්ෂා කරන බව චීන විදේශ අමාත්‍ය වන්ග් යී මහතා පවසයි. සාම්ප්‍රදායික ක්ෂේත්‍රවල සහයෝගිතා තවදුරටත් සමීප කෙරෙන අතරම නව වර්ධනය වෙමින් පවතින අංශවල සබඳතා ඉහළ නැංවීම ද චීනයේ බලාපොරොත්තුව යැයි හෙතෙම කියා සිටියේ මැද පෙරදිග රටවල් තුනක සංචාරයෙන් පසු චීන මාධ්‍ය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

චීන විදේශ ඇමතිවරයා පසුගිය 12 වෙනිදා සිට 16 වෙනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යය ,සෞදි අරාබිය හා ‍ජෝර්දානයේ සංචාරය කළේය. නව නිපැයුම් පාදක කරගත් සංවර්ධනය, ආයෝජන හා මූල්‍ය, බලශක්ති,වෙළඳ හා සංස්කෘතික හුවමාරු යන ක්ෂේත්‍රවල මැදපෙරදිග රටවල් සමග සහයෝගිතා වර්ධනයට චීනය අපේක්ෂා කරයි. මැදපෙරදිග ජනතා‍වගේ ස්වාධීන තේරීම් වෙනුවෙන් ගරු කිරීමට ජාත්‍යන්තර ප්‍රජාව දිරිගැන්වීමට චීනය ක්‍රියා කරනු ඇතැයිද හෙතෙම එහිදී කීය. පලස්තීන ප්‍රශ්නය පිළිබඳ අදහස් දැක්වූ වන්ග් යී මහතා එම ගැටළුව විසඳී‍මේ පැහැදිලි එකම මග ද්වීරාජ්‍ය විසඳුම යැයි පැවසීය. ගාසා තීර‍යේ පශ්චාත් යුධ පාලනයන්හී පලස්තීන ජනතාවගේ ප්‍රධාන කාර්යභාරයන් වෙනුවෙන් චීනය අඛණ්ඩව සහාය වන බවද ‍චීන විදේශ ඇමතිවරයා සඳහන් කළේය. ගැටුම් හා මානුෂවාදී අර්බුද යළි ඇතිවීම වැළැක්වීමට ජාත්‍යන්තර ප්‍රජාව සිය වගකීම් ඉටුකිරීමේ අවශ්‍යතාවද හෙතෙම පෙන්වා දුන්නේය.

චීන ජනතාව මෙන්ම, අරාබි ජනතාව ද යටත් විජිත පාලනයේ පීඩා විඳ තිබේ. ඔවුන්ට චීනයේ හැඟීම එලෙසින්ම දැනෙන්නේ එබැවිනි. තායිවාන ප්‍රශ්නය සම්බන්ධයෙන් චීනයේ නීත්‍යනුකූල ස්ථාවරයට අරාබි රටවල් සහයෝගය දැක්වීම, ජාත්‍යන්තර සබඳතාවල මූලික උපමාන ආරක්ෂා කිරීමක් වන අතර, එකම චීනය මූලධර්මය ලෝක වාසීන්ගේ හදවත් තුළ ගැඹුරින් මුල් බැස ඇති බවද සනාථ කිරීමකි.

මෙම වසර ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධය සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුද ජයග්‍රහණයේ 80 වන සංවත්සරය සනිටුහන් කරන බව ද වැන්ග් යී මහතා සඳහන් කළේය. ඉතිහාසයේ දී ජපන් මිලිටරිවාදය සෙසු රටවලට එරෙහිව ආක්‍රමණශීලී යුද්ධයක් දියත් කළේ “පැවැත්මේ අර්බුදය” යන නිදහසට කරුණු දැක්වීමක් මුවාවෙනි. එම ඉතිහාසය කිසි විටෙක  යළි බිහිවීමට ඉ‍ඩ නොතැබිය යුතු යැයිද වැන්ග් යී මහතා එහිදී අවධාරණය කළේය.