චීන විදේශ ඇමති වං යී මහතා ඉරාන විදේශ ඇමති Seyed Abbas Araghchi මහතා හමු වෙයි. ඒ අද (6) බෙයිජිං හිදීය.

ඉරාන විදේශ ඇමතිවරයා එහිදී ඉරාන-ඇමරිකා සාම සාකච්ඡාවන්හි නවතම තත්ත්වය හා ඉරාන ස්ථාවරය පිළිබඳව චීන පාර්ශ්වයට පැහැදිලි කළේ ය. සිය ජාතික ස්වාධිපත්‍යය හා ගෞරවය රැක ගනිමින් සාමකාමී අයුරින් යුද ගැටුමට පූර්ණ හා දිගුකාලීන විසඳුමක් ලබාදීමට ඉරානය උත්සාහ දරමින් සිටී. එම යුද ගැටුම නිරාකරණය සඳහා චීන ජනාධිපතිවරයා ඉදිරිපත් කළ සිව්වැදෑරුම් යෝජනා පිළිගන්නා බවත්, චීනය ගැටුම නිරාකරණය වෙනුවෙන් සක්‍රිය කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත්, ඉරාන විදේශ ඇමතිවරයා සඳහන් කර ඇත. චීනය ඉරානයේ පූර්ණ උපාය මාර්ගික හවුල්කරුවෙකි. එමෙන්ම ඉරානය එකම චීනය ප්‍රතිපත්තිය සැමවිටම අනුගමනය කරයි. මේ වසරේ දෙරට රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ස්ථාපිත කිරීමේ 55වැනි සංවත්සරය නිමිති කරගෙන ද්විපාර්ශ්වික සබඳතා වඩාත් ඉදිරියට ගෙන යාමට ඉරානය කැමති බව ද Seyed Abbas Araghchi මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

ඉරාන තත්ත්වය පිළිබඳ චීනයේ ස්ථාවරය පැහැදිලි කරමින් චීන විදේශ ඇමතිවරයා එහිදී පෙන්වා දුන්නේ ඉරාන-ඇමරිකා යුද ගැටුම වහාම නතර කළ යුතු අතර සටන් විරාමය සඳහා සාකච්ඡා පැවැත්විය යුතු බව ය. ඉරානයට සිය ජාතික ස්වාධිපත්‍යය හා ආරක්ෂාව රැකගැනීමටත් රාජ්‍යතාන්ත්‍රික මාර්ගයෙන් ගැටුම නිරාකරණය කිරීමටත් චීනය සහාය ලබා දෙන බව හෙතෙම පැවසීය. ගල්ෆ් කලාපයේ හා මැදපෙරදිග රටවල් සිය ඉරණමේ තීරකයා විය යුතු බව චීන විදේශ ඇමතිවරයා අවධාරණය කළේය. ඉරානය සෙසු ගල්ෆ් රටවල් සමග සංවාද පවත්වමින් සුහදතාව වැඩි කරනු ඇතැයි චීනය අපේක්ෂා කරයි. එසේ ම ඉරානය සමග දේශපාලන විශ්වාසය තහවුරු කරමින් විවිධ ක්ෂේත්රයන්හි සහයෝගිතාව ඉදිරියට ගෙන යාමට චීනය කැමති බව ද වං යී විදේශ ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.