චීනයත් ලාඕසයත් ප්‍රායෝගික සහයෝගිත්වයෙන් එක්ව අභියෝගයන්ට මුහුණ දිය යුතු බව චීන ජනපති කියයි

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතා, ලාඕසයේ මහජන විප්ලවීය පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම් සහ එරට ජනාධිපති Thongloun SISOULITH මහතාගේ විශේෂ නියෝජිතයා ලෙස චීනයේ සංචාරයකට එක්වූ ලාඕසයේ එම පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික සහ නිත්‍ය උප අගමැති Saleumxay Kommasith මහතා හමු වෙයි. මෙම හමුව අද (21) පස්වරුවේ බෙයිජිං හි මහජන මහා ශාලාවේ දී සිදු විය.

චීන කොමියුනිස්ට් පක්ෂය හා ලාඕසයේ මහජන විප්ලවීය පක්ෂය අන්‍යෝන්‍ය වශයෙන් ලාඕස විශේෂ නියෝජිතයා හරහා සිය ප්‍රධාන දේශපාලන න්‍යාය පත්‍ර පිළිබඳ දැනුවත් කිරීමෙන් දෙරටෙහි ගැඹුරු සාම්ප්‍රදායික මිත්‍රත්වය හා ඉහළ මට්ටමේ දේශපාලන විශ්වාසය පෙන්නුම් කර ඇතැයි ෂී ජින්පිං මහතා එහිදී පැවසීය.

මෙම වසරේදී චීන-ලාඕස රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 65 වන සංවත්සරය යෙදී ඇත. එම නව ඓතිහාසික ආරම්භයත් සමඟ, දෙරටම අනාගතය උදෙසා දීර්ඝ කාලීන ස්ථාවරත්වය, මිත්‍රශීලීත්වය සහ පූර්ණ සහයෝගීතාව යනාදියෙන් යුත් මාර්ගෝපදේශයන්ට අනුකූලව සහ ‘මනා අසල්වැසියන්, මිත්‍රවරුන්, සහෝදරයන් සහ හවුල්කරුවන් වීම අරමුණු කරගත් ද්විපාර්ශ්වික සබඳතාවන්ට අදාළ ජීවගුණයට අනුගත විය යුතු ය. සමීප සම්බන්ධීකරණය, පුළුල් උපායමාර්ගික සම්බන්ධතා හා ප්‍රායෝගික සහයෝගීතාවය මගින් අභියෝගයන්ට එක්ව මුහුණ දී, පොදු ඉරණමක් සහිත චීන-ලාඕස ප්‍රජාවක් ගොඩනැංවීම සඳහා වූ නව පස් අවුරුදු වැඩපිළිවෙල ක්‍රියාවට නැංවිය යුතු බව ද චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

දේශපාලනික මෙන්ම සමාජීය වශයෙන් ද චීනය, දිගුකාලීන සුරක්ෂිතභාවය හා ස්ථාවරත්වය තුළින් ආර්ථිකමය සංවර්ධනයෙහි ආශ්චර්යයක් නිර්මාණය කර ඇතැයි Saleumxay Kommasith මහතා මෙහිදී පැවසීය.

එමෙන්ම ෂී ජින්පිං ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ගෝලීය මුලපිරුම් වෙත දැඩි අනුබලයක් ලබා දෙන ලාඕසය, චීනය සමග එක්ව ප්‍රායෝගික සහයෝගීතා පුළුල් කරමින් පොදු ඉරණමක් සහිත ලාඕස-චීන ප්‍රජාවක් ගොඩනැංවීම තවදුරටත් තහවුරු කිරීමට සූදානම් බව ද හෙතෙම එහිදී වැඩිදුරටත් කියා සිටියේය.