වොෂිංටන් හි ගුවන් අනතුර පිළිබඳව චීන විදේශ අමාත්‍යංශය ශෝකය පළ කරයි

ඇමරිකාවේ වොෂිංටන් හි දී 29වනදා රාත්‍රි සිදු වූ ගුවන් යානා  අනතුරෙ හි වින්දිතයින්ට සහ විපතට පත්වූවන්ගේ පවුල් වෙත දැඩි ශෝකය පළ කරන බව චීන විදේශ අමාත්‍යංශය පවසයි. 

මෙම සිද්ධිය වාර්තා වීමෙන් පසු, චීන විදේශ අමාත්‍යංශය ඇමරිකාවේ චීන තානාපති කාර්යාලය සමඟින් එක්ව වහාම අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව සිදුකළ විමර්ශනයන්ට අනුව හෙළිව ඇත්තේ අදාළ අනතුරට ලක් වූ මගී ගුවන් යානයේ සිටි චීන පුරවැසියන් දෙදෙනෙකු ද අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇති බවයි.

කෙසේවෙතත් මෙම සිද්ධියට අදාළ මෙහෙයුම් හි ප්‍රගතිය පිළිබඳ වහාම වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත්, අනතුරට හේතුව හැකි ඉක්මනින් සොයා බලා ඉදිරි කටයුතු මැනවින් සම්බන්ධීකරණය කරන ලෙසත්, චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී. එමෙන්ම මෙම සිද්ධියෙන් මියගිය චීන පුරවැසියන්ගේ පවුල් වෙත අවශ්‍ය කටයුතු සම්පාදනය සඳහා චීන පාර්ශ්වය නිසි සහාය ලබා දෙනු ඇතැයි ද චීන  විදේශ අමාත්‍යංශය සඳහන් කළේ ය.