චීනයට සිය ආර්ථික වර්ධනය ඉහළ මට්ටමකින් පවත්වා ගැනීමේ විශ්වාසයක් මෙන්ම හැකියාවක් ද පවතී– චීන අගමැති

චීනයට සිය ආර්ථික වර්ධනය ඉහළ මට්ටමකින් පවත්වා ගැනීමේ විශ්වාසයක් මෙන්ම හැකියාවක් ද පවතින බව චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා පවසයි. 

චීනයේ ටියැන්ජින් හි පැවති 2025 ලෝක ආර්ථික සමුළුවේ 16 වන නව ජයග්‍රාහකයන්ගේ වාර්ෂික සමුළුව හෙවත් ගිම්හාන ඩාවෝස් සංසදයේ සමාරම්භක උත්සවයට එක් වෙමින් ‍අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය. වසර ගණනාවක් තිස්සේ ජාත්‍යන්තර වාතාවරණය කෙසේ වෙනස් වුවද, චීන ආර්ථිකය අඛණ්ඩව යහපත් ප්‍රවණතාවක් පෙන්නුම් කර තිබේ. එමෙන්ම චීනයේ ආර්ථික වර්ධනය කෙටිකාලීන වූවක් නොව, දිගුකාලීන ඉලක්ක සහිත ස්ථාවර ප්‍රගතියකින් යුක්ත වූවක් බව Li Qiang මහතා සඳහන් ක‍ළේය. ලොව දෙවන විශාලතම පාරිභෝගික සහ ආනයන වෙළඳපොල ලෙස චීනය උසස් පාරිභෝගික ඉල්ලුමක් ද සහිතව සමස්තයක් වශයෙන් ඉහළ ආදායම්ලාභී රටක් බවට පත්වෙමින් සිටින බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ ය. 

ඒ අතරතුරදී, ලෝක ආර්ථික සංසදයේ සභාපති Borge Brende මහතා චීනයේ ඉදිරි ආර්ථික දැක්ම සම්බන්ධයෙන් ධනාත්මක අදහස් පළ කළේ ය. මධ්‍යකාලීනව සහ දිගුකාලීනව චීන ආර්ථිකය සම්බන්ධයෙන් සුබවාදී අපේක්ෂාවක් පවත්වා ගත හැකි බවත් චීනය මේ වනවිටත් විවිධාංගීකරණය වෙමින් නව්‍ය ඩිජිටල් නිෂ්පාදන හා සේවා සඳහා යොමු වී ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

“නව යුගයක් සඳහා ව්‍යවසායකත්වය” යන තේමාව යටතේ ජුනි 24 සිට 26 වනදා දක්වා පැවැත්වෙන මෙම සංසදයට රටවල් 90කට අධික සංඛ්‍යාවක නියෝජිතයින් 1,700කට අධික පිරිසක් එක්ව සිටී.