ගාසා තීරයේ කල් පවත්නා සටන් විරාමයක් සඳහා වන කඩිනම් අවශ්‍යතාව වෙනුවෙන් චීනය සිය හඬ යළි අවදි කරයි.
පලස්තීන-ඊශ්‍රායල ගැටලුව සම්බන්ධයෙන් ඊයේ (30) පැවති එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල විවෘත රැස්වීමේ දී චීනයේ නිත්‍ය නියෝජිත Fu Cong මහතා මේ බව අවධාරණය කළේය. එමෙන්ම හමුදා මෙහෙයුම් මගින් කල් පවත්නා සාමයක් ළඟා කර ගත නොහැකි බවත් යුද්ධය දීර්ඝ කිරීමෙන් තවත් ජීවිත හානි සිදුවනු ඇති බවත් හෙතෙම එහිදී පැවසීය.
එබැවින් සටන් විරාම සාකච්ඡා සහ දේශපාලන විසඳුමක් මගින් මෙම ගැටලුව සඳහා විසඳුම් සෙවීම නිවැරදි මාර්ගය වේ. ඒ අනුව ගාසා තීරයේ සියලු හමුදා මෙහෙයුම් වහා නතර කරන ලෙස චීනය ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටින බව චීන නියෝජිතයා සඳහන් කළේ ය.
ගාසා තීරයේ සටන් මැඩපැවැත්වීම හා මානුෂීය ව්‍යසනය සමනය කිරීම සඳහා මෙන්ම, “ද්වි රාජ්‍ය විසඳුම” ක්‍රියාත්මක කිරීම සඳහා, චීනය ජාත්‍යන්තර ප්‍රජාව සමඟ එක්ව පලස්තීන ගැටලුවට පුළුල්, සාධාරණ සහ කල් පවත්නා විසඳුමක් ලබා ගැනීම වෙනුවෙන් අඛණ්ඩව කටයුතු කරනු ඇතැයි ද Fu Cong මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.