චීන ජනතාව මහත් ඉහළින් සමරන එරට සාම්ප්‍රදායික අලුත් අවුරුද්ද අද (16) රාත්‍රියෙන් උදා වුණා.
ඒ අද රාත්‍රී 8ට ආරම්භ වූ වසන්ත උත්සව කලා ප්‍රසංගයත් සමඟයි.
චීන චන්ද්‍ර දින දර්ශනයට අනුව, 2026 වසරේ නව අවුරුදු උදාව චීන ජනතාව සමරනු ලබන්නේ පෙබරවාරි මස 17 වැනිදායි.
ඊට සමගාමීව අද රාත්‍රියේ බෙයිජිංහි පැවැත්වුණු මෙම දැවැන්ත කලා ප්‍රසංගය හෙවත් වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගය නව අවුරුදු උදාව සංකේතවත් කරනු ලබනවා.
ලොව පුරා රටවල් සහ කලාප 200කට අධික සංඛ්‍යාවක සජීවීව විකාශය කරමින් ගෝලීය ප්‍රේක්ෂකයින් වෙත මුදා හැරි මෙම ප්‍රසංගය, ලොව වැඩිම ප්‍රේක්ෂක පිරිසක් එකවර සජීවීව නරඹන ප්‍රසංගයයි.
ඒ අනුව මෙවරත් මෙම වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගය ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වුණු අතර ඊට සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වුණා.
ප්‍රසංගය චීන සම්ප්‍රදායට අයත්, නැටුම් ගැයුම් ඇතුළු සංස්කෘතිකාංග රැසකින් විචිත්‍රවත් වුණා.
චීන සම්ප්‍රදායට අනුව අශ්වයාගේ වසර ලෙසින් සැලකෙන මෙම වසරේ නව අවුරුදු තේමාව වූයේ “වේගවත් පිම්ම, නොනවතින ගැම්ම” යන්නයි.
අති නවීන තාක්ෂණයත් සමඟ මුසුවූ චීන සංස්කෘතියේ පොහොසත් කලා අංග මේ ප්‍රසංගය හරහා, වඩාත් නවමු ආකාරයෙන් ඉදිරිපත් කළ අතර, ඊට විවිධ රටවලින් පැමිණි කලාකරුවන්ගේ අංග කිහිපයක් ද එක්කර තිබීම මෙවර වඩාත් සුවිශේෂී වුණා.
චීන මාධ්‍ය සමූහය විසින් පවත්වන මෙම වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගය, සාම්ප්‍රදායික චීන අලුත් අවුරුදු සමය තුළ චීනයේ සංස්කෘතික වටිනාකම් මනාව පිළිබිඹු කරන්නකි.