2026 වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගය විදෙස් විකාශනයෙන් වාර්තා තබයි

2026 වසරේ නව අවුරුදු උදාව වෙනුවෙන් චීන මාධ්‍ය සමූහ‍ය (CMG) විසින් සංවිධානය කරන ලද රූපවාහිනී කලා ප්‍රසංගය ඉකුත් 16 වනදා රාත්‍රී 08:00 සිට විකාශනය විය. එහිදී පෙන්නුම් කෙරුණු ප්‍රීතිමත් බව හා නිර්මාණශීලීත්වය දෙස් විදෙස් ප්‍රේක්ෂකයන්ගේ ඉහළ ආකර්ෂණයට හා පැසසුමට ලක් වී ඇත. ඊයේ(17) රාත්‍රී 07:00 දක්වා කාලය තුළ, එම ප්‍රසංගය විදෙස් රටවල විකාශනයෙන් ද වාර්තා තැබීම කැපී පෙනෙන්නකි.

විදේශ ප්‍රේක්ෂකයින් මෙම වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගය චීන මාධ්‍ය සමූහයට අනුබද්ධ CGTN නාලිකාව හරහා බිලියන 2.31කට ආසන්න වාරයක් නරඹා තිබුණි. එය වසරින් වසර 32.85%ක වැඩිවීමක් පෙන්නුම් කිරීමකි. අදාළ වීඩියෝ පට නැරඹුම් වාර සංඛ්‍යාව ද අසූහතර කෝටි තිස් ලක්ෂයක් වූ අතර, එය වසරින් වසර 43.61% ක වර්ධනයකි.

‍මෙවර වසන්ත උත්සව ප්‍රසංගයේ විදේශීය විකාශන ආවරණය ද බෙහෙවින් ඉහළ ගොස් ඇත. ප්‍රසංගය එකවර විසුරුවා හැරීමට සහ වාර්තා කිරීමට චීන මාධ්‍ය සමූහය ලොව පුරා මාධ්‍ය ආයතන 4,000කට ආසන්න සංඛ්‍යාවක් සමඟ සහයෝගයෙන් කටයුතු කළේය. මෙම සංඛ්‍යාව පසුගිය වසරේ පැවති සංඛ්‍යාවට සාපේක්ෂව 37.95%ක වැඩිවීමකි.

එමෙන්ම, රටවල් 98ක නගර 140ක පිහිටි විශාල ප්‍රමාණයකින් යුත් විද්‍යුත් තිර 4062ක් ඔස්සේ චීන මාධ්‍ය සමූහයේ වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගය සජීවී ලෙස විකාශය කර ඇති අතර, ප්‍රසංගය ප්‍රචලිත කිරීමේ වීඩියෝ පට ද විකාශය කර ඇත. එලෙස විකාශය සඳහා දායක වූ ලොව රටවල් සංඛ්‍යාව හා විද්‍යුත් තිර සංඛ්‍යාව ද පසුගිය වසරේ පැවති අගයට වඩා වෙන් වෙන්ව 12.6%කින් හා  15.8%කින් වර්ධනය වීමක් දක්නට ලැබේ.

මේ අතර, CGTN නාලිකාව හරහා භාෂා 85කින් ප්‍රසංගයේ විශේෂාංග රැසක් ලොව පුරා විකාශනය කර තිබීම මෙවර තවත් විශේෂත්වයකි. රොබෝවරුන්ගේ සහභාගීත්වයෙන් ඉදිරිපත් කළ නර්තන, අතීත සේද මාවත ඇසුරින් නිර්මාණය කළ නර්තන, ඇක්‍රොබැටික්ස් මුසු කළ සංදර්ශන ද ඊට ඇතුළත් විය.

තවද වසන්ත උත්සවය මූලික කරගත් ආලෝක ප්‍රදර්ශන, ශ්‍රී ලංකාවේ කොළඹ වරාය නගරය ඇතුළු රටවල් රැසක ක්‍රියාත්මක ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ පොදුවේ ගොනැංවීමට අයත් සංකේතවත් ව්‍යාපෘති ආශ්‍රිතව ඉදිරිපත් කිරීමෙන් චීන අලුත් අවුරුදු සුබ පැතුම් එහි ජනතාව වෙත එක් කිරීමත් කැපී පෙනෙන්නකි.