චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14 වැනි ජාතික කමිටුවේ 4වැනි සැසිය අද ඇරඹේ

චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14 වැනි ජාතික කමිටුවේ 4වැනි සැසිය අද(04) සවස 3ට  බෙයිජිංහි මහජන මහා ශාලාවේදී ආරම්භ වීමට නියමිතය. දින 7ක් පුරා පැවැත්වෙන සැසිය එළඹෙන 11 වනදා අවසන් වනු ඇත. සැසිය අතරතුර ආරම්භක හා සමාප්ති අවස්ථාවන්ට අමතරව රැස්වීමේදී දේශන දෙකක් ද සිදු කෙරෙනු ඇත. එමෙන්ම චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටුවේ ඒ ඒ ක්ෂේත්‍රවල සාමාජිකයන් කණ්ඩායම් රැස්වීම් හා සාකච්ඡා රැසක් පවත්වනු ඇත. ඊට අමතරව සාමාජිකයන්ගේ සමූහික මාධ්‍ය හමුවීම් 3ක් පැවැත්වීමට ද නියමිතය. එහි ප්‍රථම සමූහික මාධ්‍ය හමුවීම අද සවස 2ට සැසියේ ආරම්භක උත්සවයට පෙර පැවැත්වේ. 

එමෙන්ම 14 වන චීන ජාතික මහ‍ජන කොංග්‍රසයේ 4වන සැසිවාරය සම්බන්ධ මාධ්‍ය හමුවක් අද දවල් 12ට මහජන මහා ශාලාවේදී පැවැත්වීමට ද නියමිතය. 14 වන චීන ජාතික මහ‍ජන කොංග්‍රසයේ 4වන සැසිවාරයේ න්‍යාය පත්‍රය හා චීන ජාතික මහජන කොංග්‍රසයේ කාර්යය පිළිබඳව සැසියේ ප්‍රකාශකයා දෙස් විදෙස් මාධ්‍යවේදීන් ගේ ප්‍රශ්නවලට එහිදී පිළිතුරු දෙනු ඇත.

14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 4වැනි සැසිවාරයට එක්වන නියෝජිතයෝ හා චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ 4වැනි සැසිවාරයට එක්වන සාමාජිකයෝ මේ වන විට බෙයිජිං නුවරට පැමිණ සිටිති. අදාළ සැසිවාර දෙකේ සූදානම් කටයුතු ද සම්පූර්ණ කර තිබේ.