මැදපෙරදිග සාමය වෙනුවෙන් චීන විදේශ ඇමති එම කලාපයේ විදේශ අමාත්‍යවරුන් සමග විශේෂ සාකච්ඡා

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා සෞදි අරාබියේ විදේශ අමාත්‍ය Faisal bin Farhan Al Saud හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප අගමැති සහ විදේශ අමාත්‍ය Sheikh Abdullah Bin Zayed යන මහත්වරුන් සමග දුරකථන සංවාදවල නිරත වෙයි. ඒ ඉකුත් 04 වනදාය.

සෞදි අරාබියේ විදේශ ඇමතිවරයා එහිදී මැද පෙරදිග කලාපයේ නවතම තොරතුරු පිළිබඳ දැනුවත් කරමින් එම කලාපය යුද්ධයකට ඈඳා ගැනීම කිසිසේත්ම සිය රට අපේක්ෂා නොකරන බව පැවසීය. සෞදි අරාබිය සංයමයෙන් කටයුතු කළද ගැටුම්කාරී තත්ත්වයෙන් ආරක්ෂා වීමේ අයිතිය ද පවතී. චීනය කලාපීය ආරක්ෂාව හා සාමය අවධාරණය කර ඇති අතර, මේ වෙනුවෙන් ඉටු කර ඇති සක්‍රීය කාර්යභාරයන් ද සෞදි අරාබිය අගය කරන බව එරට විදේශ ඇමතිවරයා එහිදී වැඩිදුරටත් කියාසිටියේය.

කුමන හේතු මත වුවද වෙනසකින් තොරව යුදමය බලය යොදා ගැනීම කිසිසේත් පිළිගත නොහැකි දෙයක් බව චීන විදේශ ඇමති වං යී මහතා එම දුරකථන සංවාදයේ දී සඳහන් කළේය. සෞදි අරාබියේ සංයමයෙන් යුතු හැසිරීම අගය කරන චීනය, සිය ප්‍රායෝගික කාර්යභාරයන් ඉටු කරමින් මැදපෙරදිග ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡා කිරීමට විශේෂ නියෝජිත පිරිසක් කලාපීය රටවලට යොමු කර ඊට නිසියාකාරයෙන් මැදිහත් වීමට සැලසුම් කර ඇතැයි ද චීන විදේශ ඇමතිවරයා සඳහන් කළේය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප අගමැති, විදේශ අමාත්‍ය Sheikh Abdullah Bin Zayed මහතා දුරකථන සංවාදයේ දී පැවසුවේ තම රට කලාපීය යුද්ධය වෙනුවෙන් පෙනී නොසිටින බවත් නීත්‍යනුකූල නොවන ප්‍රහාරවලට ලක් නොවිය යුතු බවත්ය. සාධාරණ ස්ථාවරයේ අඛණ්ඩ ව එල්බ සිටින චීනය ඔහුගේ ද පැසසුමට ලක් ව ඇත.

ගැටුම්කාරී තත්ත්වයන් යටතේ සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව සහතික කිරීම අත්‍යවශ්‍ය බව පැවසූ චීන විදේශ ඇමතිවරයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සිය ජාතික ආරක්ෂාව සුරැකීමේ අවශ්‍යතාවට සහාය ලබා දෙන බව සඳහන් කළේය. සාමය වෙනුවෙන් චීනය අඛණ්ඩ ව ප්‍රායෝගික කාර්යභාරයන් ඉටු කරනු ඇතැයි ද හෙතෙම එහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇත.