උස්බෙකිස්ථානය සමඟ විවිධ ක්ෂේත්‍රයන්හි සහයෝගතා ගැඹුරු කිරීමට චීනයේ කැමැත්ත

උස්බෙකිස්ථානය සමඟ බලශක්ති හා සම්පත්, ඩිජිටල් හා හරිත ආර්ථිකය ඇතුළු තවත් ක්ෂේත්‍ර රැසක සහයෝගීතාව ගැඹුරු කිරීමට චීනය කැමැත්තෙන් පසු වන බව චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා පවසයි. හෙතෙම ඊයේ (07) මේ බව ප්‍රකාශ කළේ, බෙයිජිංහි සංචාරයක නිරත‍ උස්බෙකිස්ථාන අග්‍රාමාත්‍ය අබ්දුල්ලා අරිපොව් මහතා හමුවූ අවස්ථාවේදීය.

දෙරට අතර සබඳතා හරහා සන්ධිස්ථානීය වටිනාකමකින් යුත් ව්‍යාපෘති නිර්මාණය කිරීමේ අවශ්‍යතාව එහිදී පැහැදිලි කළ චීන අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ, චීනය සහ කිර්ගිස්ථානයත් උස්බෙකිස්ථානයත් අතර දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් උසස් ප්‍රමිතියකින් යුතුව ඉදිරියට ගෙන යාමට චීනය කැමැත්තෙන් සිටින බවයි.

වඩාත් සංකීර්ණ බවින් යුත් වත්මන් ජාත්‍යන්තර තත්ත්වය තුළ නව යුගයක් සඳහා වන පුළුල් උපායමාර්ගික හවුල්කරුවන් ලෙස චීනය සහ උස්බෙකිස්ථානය, එක්සත්ව වඩාත් සමීපව කටයුතු කළ යුතු බව හෙතෙම මෙහිදී අවධාරණය කළේය. එහිදී චීනය, උස්බෙකිස්ථානය සමඟ වෙළඳාම සහ ආයෝජන විවෘත කිරීම මෙන්ම ඊට අදාළ පහසුකම් සැපයීම ද අඛණ්ඩව ප්‍රවර්ධනයට සූදානම් බව ලී ච්‍යං මහතා පැවසීය.

එමෙන්ම උස්බෙකිස්ථානය සිය නීත්‍යනුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා ආරක්ෂා කරනු ඇතැයි අපේක්ෂාවෙන් එරටින් උසස් තත්ත්වයේ නිෂ්පාදන ආනයනය කිරීමට සහ එහි ආයෝජන කිරීමේ හැකියාවෙන් යුත් චීන ව්‍යවසායන් දිරිමත් කිරීමට චීනය සතු කැමැත්ත ද මෙහිදී සඳහන් කෙරිණ.

චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා වැඩිදුරටත් දන්වා සිටියේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ෂැංහයි සහයෝගිතා සංවිධානය (SCO) වැනි බහුපාර්ශ්වික යාන්ත්‍රණ තුළ උස්බෙකිස්ථානය සමඟ සමීපව සහයෝගයෙන් කටයුතු කිරීමටත්, චීන-මධ්‍යම ආසියානු යාන්ත්‍රණයේ යහපත් සංවර්ධනය ප්‍රවර්ධනයටත් චීනය සූදානම් බවයි.

මෙහිදී අදහස් දක්වමින් අබ්දුල්ලා අරිපොව් මහතා පැවසුවේ එකම චීනය මූලධර්මය වෙත ස්ථිරවම සහාය දක්වන උස්බෙකිස්ථානය, එරට ප්‍රතිසංස්කරණ හා සංවර්ධනය වෙනුවෙන් චීනයේ ශක්තිමත් සහයෝගය වඩාත් අගය කරන බවයි.

එමෙන්ම චීනය සමඟ ඉහළ මට්ටමේ හුවමාරු තවදුරටත් වැඩිදියුණු කරමින් එක් තීරයක් එක් මාවතක් මුලපිරීම සඳහා ක්‍රියාකාරීව සහභාගී වීමට උස්බෙකිස්ථානය කැමැත්තෙන් සිටින බවත් හෙතෙම අවධාරණය කළේය.