කාර්මික සහන දීමනාව පිළිබඳ ආර්ථික සහයෝගිතා හා සංවර්ධන සංවිධානයේ වාර්තාවකට චීනයෙන් ප්‍රතිචාරයක්

ආර්ථික සහයෝගිතා හා සංවර්ධන සංවිධානය පසුගිය 01 වන දින නිකුත් කළ කාර්මික සහන දීමනාවන් පිළිබඳ වාර්තාවක් සම්බන්ධයෙන් චීන වාණිජ අමාත්‍යාංශය ප්‍රතිචාර දක්වයි.

අදාළ වාර්තාවේ දැක්වෙන්නේ චීන සමාගම් රජයෙන් වැඩි සහන හා දීමනා ලබා ගන්නා බවයි. ඒ පිළිබඳ අදහස් දක්වමින්  චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු කියා සිටියේ, සමාගම් වෙත දීමනාවන් ලබා දීම යනු, ආර්ථික සහයෝගිතා හා සංවර්ධන සංවිධානයේ සාමාජිකයන් ඇතුළු විවිධ ආර්ථිකයන්හි බහුලව භාවිත වන ප්‍රතිපත්තිමය කරුණක් බවත්, කාර්මික සහන දීමනා පිළිබඳ ජාත්‍යන්තර රෙගුලාසි සම්බන්ධයෙන් වන සාකච්ඡා සඳහා ක්‍රියාකාරීව සහභාගී වීමට චීනය කැමැත්තෙන් සිටින බවත්ය.

එම වාර්තාවේ සඳහන් සංකල්ප, නිර්වචන සහ නියැදි තෝරාගැනීම යනාදිය තුළ ගැටලු පවතින අතර එහි නිගමන අසම්පූර්ණ හා අත්තනෝමතිකය. චීන සමාගම්හි ගෝලීය වෙළඳපළ කොටස ඉහළ යාම රජයේ සහනාධාර නිසා පමණක් සිදු වූවක් බව එම වාර්තාව පෙන්වා දී තිබේ. නිෂ්පාදන කාර්යක්ෂමතාව සහ තාක්ෂණික පුනරාවර්තනය යනාදී අංශ තුළ චීන සමාගම්වල සැබෑ මූලික වාසි එහි සම්පූර්ණයෙන්ම නොසලකා හැරේ. තම පර්යේෂණ වෛෂයිකව සහ මධ්‍යස්ථව සිදු කරන ලෙසත්, අදාළ වාර්තාව දේශපාලනීකරණය කිරීමෙන් හෝ ඉන් අනිසි ප්‍රයෝජන ගැනීමෙන් වළකින ලෙසත්, චීනය ආර්ථික සහයෝගිතා හා සංවර්ධන සංවිධානයෙන් ඉල්ලා සිටින බව එම ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.