ජපානයේ මිලිටරිවාදය යළි පණ ගැන්වීමට ඉඩ නොදීම එරට වගකීමක් බව චීනය කියයි

ජපානයේ මිලිටරිවාදය යළි පණ ගැන්වීමට ඉඩ නොදීම එරට වගකීමක් මෙන්ම එය චීනය ඇතුළු ජගත් ප්‍රජාවේ දැඩි ඉල්ලීමක් ද වන බව චීනය පවසයි. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Guo Jiakun මහතා අද (20) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව පැවසීය.

ජපාන රජය සිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ උත්සාහයට ‍එරෙහිව එරට ජනතාව උද්ඝෝෂණයක් පැවැත්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්, Guo Jiakun මහතා පැවසුවේ, ජපානය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම දෙවන ලෝක යුද්ධයෙන් පසු ජාත්‍යන්තර පටිපාටිය හා ජපානයේ අනාගතය සමඟින් ද සම්බන්ධ වන බවයි.

එය, ජගත් ප්‍රජාවේ හා අසල්වැසි රටවල ඉහළ අවධානයට ලක් වී ඇත. මේ දක්වා, තම රටෙහි ආක්‍රමණශීලී ඉතිහාසය දෙස යළි හැරී බැලීමකින් තොරව, ජපානයේ ඇතැම් බලවේගයන් ‘මිලිටරිවාදය යළි පණ ගැන්වීම’ වේගවත් කිරීමට පවා උත්සාහ කරමින් සිටී. මෙය, කලාපීය සාමය හා ස්ථාවරත්වයට තර්ජනයක් බව ද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.